කත්මණ්ඩුවේ බිමිස්ටෙක් අමාත්‍යමය හමුව

පිටපත: දේශපාලන විචාරක, රතන් සල්දි

දකුණු හා ගිණිකොන දිග ආසියානු බොංගාල බොක්ක වළල්ලේ රටවල් අතර කලාපීය සහයෝගීතාවය පුළුල් කිරීම පිණිස බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගය සඳහා බෙංගාල බොක්කේ මුල් පියවරේ (බිම්ස්ටෙක්) විදේශ කටයුතු ඇමතිවරුන්ගේ පහළොස්වන අමාත්‍යමය හමුව කත්මණ්ඩුවේ දී පැවැත්විණි. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, මියන්මාරය හා තායිලන්තය යන රටවල් මෙයට අයත් වේ. ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී, සුශ්මා ස්වරාජ් මෙම දෙදින හමුවට සහභාගී වූවා ය. මෙම සංචාරය, නේපාලී කොංග්‍රසයේ ෂෙර් බහදූර් දෙඋබා රජය බලයට පැමිණිමෙන් පසු හිමාලයානු ජාතිය වෙත ඉන්දියාවෙන් කෙරුණු පළමු ඉහළ මට්ටමේ සංචාරය වේ.

හමුව ආරම්භ කරමින් නේපාල අගමැති, දෙඋබා මහතා, කලාපය මුහුණ දෙන අභියෝගයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශක්තිමත් හවුල්කාරීත්වයක් හා ගැඹුරු සහයෝගීතාවයක් ඇති කරගන්නැ’යි බිම්ස්ටෙක් ජාතීන් වෙත ඇරයුම් කළේ ය. ලොව අන් කලාපයක් මෙන් බිම්ස්ටෙක් ද ජාතීන් හරහා කෙරෙන අපරාධ, ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ආයුධ වෙළඳාම යන ගැටළුවලට මුහුණ දෙන බව මෙනෙහි කරදෙමින්, මෙවැනි උවදුරු පරාජය කිරීමට සහයෝගී ප්‍රයත්නයන් දරන මෙන් එතුමා ඉල්ලා සිටියේ ය. වෙළඳ, ආයෝජන, බලශක්තිය, සංචාරක කටයුතු, කෘෂිකර්මය, දුගීබව තුරන් කිරීම, ත්‍රස්තවාදය පාරජය කිරීම, පාරිසරික හා දේශගුණ විපර්යාසය ඇතුලත් විවිධ ක්ෂේත්‍රයන් දා හතරක් සම්බන්ධයෙන් හමුව සාකච්ඡා පැවත්වීය. මීට පෙර, වඩා විශාල කලාපීය සහයෝගීතාවයක අවශ්‍යතාවය අවධාරණය කරමින් බිම්ස්ටෙක් ජාතීන්ගේ ජ්‍යෙෂ්ට නිලධාරීන්ගේ දහඅට වන හමුව සාමාජික ජාතීන් අතර නිදහස් වෙළඳ ක්ෂේත්‍රයක් පිළිබඳ ගිවිසුම හා සම්බන්ධ කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය සුවිශේෂී කොට දැක්වීය.

බිම්ස්ටෙක් හැරැණු කොට, ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය කත්මණ්ඩුවේ දී නේපාල නායකත්වය සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවන් ද පැවැත්වූවා ය. සැප්තැම්බර් දහඅටවන දා ට පැවැත්වීමට නියමිත පළාත් දෙකක ප්‍රාදේශීය සභා මැතිවරණවල තෙවන අදියර වෙත සහභාගී කරගැන්ම සඳහා මදේසී පක්ෂ රැගෙන ඒමේ අසීරු කාර්යයේ දෙඋබා රජය ඉතා බැරෑරුම් ලෙස යෙදී කටයුතු කරමින් සිටින මොහොතක මෙම සංචාරය සිදුවිණි.

භූතානය සමඟ වන ඩොක්ලම් තෙමංසලේ බිජිං හා නව දිල්ලිය අතර ආරවුලක් පවතින මොහොතක ස්වරාජ් මැතිනියගේ මෙම සංචාරය සිදුවීම තවත් වැදගත්කමක් දරයි. ඉන්දියාව හා චීනය යන ද්වය සමඟම විවෘත මාඉම් පවතින හෙයින්, නේපාලය ද මේ සම්බන්ධයෙන් එකලෙස සැලකිලිමත්ව සිටී. මෙම ප්‍රශ්නය නේපාල පාර්ලිමේන්තුව තුළ ද මතුවූ කරුණකි. කෙසේ වුවද, ඉන්දියාව හා චීනය අතර පවත්නා ගැටළුවලට සාමකාමී විසඳුමක් ලැබෙනු දැකීම තමාට අවශ්‍ය කරන බවට කත්මණ්ඩු නායකත්වය පැහැදිලි ස්ථාවරයක සිටී. ස්වරාජ් මැතිනියගේ කත්මණ්ඩු සංචාරයට සමීපයෙන්, චීන ඉහළ මට්ටමේ නියෝජිතයෙක් වන වං යං, නේපාලය සමඟ බීජිං හි පවතින උපායමය හවුල්කාරීත්වය වර්ධනය කිරීමට ගත් පියවරක් ලෙස ලබන සතියේ කත්මණ්ඩුවේ සංචාරයක යෙදේ.

කත්මණ්ඩුවේ සිටි දිනවල දී සුශ්මා ස්වරාජ් මැතිනිය, නේපාල ජනාධිපති, බිද්‍යා දේවී භාන්දාරී සහ අගමැති, ෂෙර් බහදූර් දෙඋබා හමුවිණි. අධෝව්‍යූහ පහසුකම් සංවර්ධනය, බලශක්තිය, සම්බන්ධතාවය හා ජල-විදුලි බල උත්පාදනයේ දී සහයෝගීතාවය වර්ධනය කිරීම වැනි ක්ෂේත්‍රයන්  හි ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි මාර්ග පිළිබඳ ඇමතිවරිය නායකයන් දෙදෙන සමඟම සාකච්ඡා කළා ය. අගොස්තු විසිතුන් වන දා ඇරඹෙන නේපාල අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳව ද එතුමිය අගමැතිවරයා සමඟ සාකච්ඡා කළාය. නේපාලයේ අගමැති බවට පත්වීමෙන් පසු දෙඋබා මහතා සිදුකරන ප්‍රථම විදේශ සංචාරය වන්නේ මෙයයි.  මේ අතර, නේපාලයේ නියෝජ්‍ය අගමැති හා විදේශ කටයුතු ඇමති, ක්‍රිෂ්ණ බහදූර් මහරා සමඟ ද එම මැතිනිය පුළුල් සාකච්ඡා පැවැත්වූ අතර, නේපාලයේ ඉන්දීය ආධාරය ලත් ව්‍යාපෘතීන් හි ප්‍රගමනය ද සමාලෝචනය කළාය. ‘රාශ්ට්‍රීය ජනතා පාටි නේපාල්’ පක්ෂයේ නියෝජිතයෙකු ද ඉන්දීය ඇමතිවරිය හමුවිණි.

නේපාලයේ දේශපාලන ඔට්ටුකරුවන් විවිධ දිශාවන් දෙස බලමින් සිටින අවස්ථාවක ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීම සඳහා දෙඋබා රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැන්ම අසීරු කර්තව්‍යයක් වන බවට පෙනී යයි. ඉන්දියාව තම පාර්ශවයෙන් නේපාලයේ සාමය, ස්ථාවරත්වය හා සමාජ-ආර්ථික සංවර්ධනය උදෙසා නිරන්තරයෙන් පෙනී සිටී.

පරිවර්ථනය: ආචාර්ය. නිම්මි නාලිකා මැණිකේ